රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාවට නැංවීමට කඩිනම් ක්‍රියාමාර්ග

භාෂා සැලසුම්කරණය සහ 1956 ඇමතුම් මධ්‍යස්ථානය පිළිබඳ වැඩමුළුවට නායකත්වය ලබාදීම NLEAP වෙතින්

රාජ්‍ය සේවා, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ජාතික භාෂා අංශය සමග එක් වූ ජාතික භාෂා සමානාත්මතා අභිවර්ධන ව්‍යාපෘතිය (NLEAP), රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාවට නැංවීමෙහි ලා ප්‍රධාන කරුණු දෙකක් වශයෙන් සැලකෙන, භාෂා සැලසුම්කරණය සහ 1956 ඇමතුම් මධ්‍යස්ථානය පිළිබඳ වැඩමුළුවක් පවත්වන ලදී.  මෙම වැඩමුළුව පවත්වනු ලැබුවේ 2021 මාර්තු 16 වැනි දින ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී ය.  එහිදී ප්‍රධාන ඉලක්කයන් වූයේ භාෂා සැලසුම්කරණය පිළිබඳ තාක්ෂණික කණ්ඩායමේ (TTLP) කටයුතු නැවත විමසා බැලීම සහ එය පුළුල් කිරීම, තාක්ෂණික කණ්ඩායමේ කාර්ය නිර්ණය සටහන් සහ ආශ්‍රිත පුහුණු අවශ්‍යතාවන් හඳුනාගැනීම, සහ 1956 ඇමතුම් මධ්‍යස්ථානයෙහි වැඩිදියුණුව පිළිබඳ ඉදිරි කටයුතු සාකච්ඡා කිරීමත් ය.  මෙයට සහභාගිවූවන් අතර ජාතික භාෂා අංශයේ සහ එහි හවුල්කාරිත්ව ආයතන වල නියෝජිතයන් ද, රාජ්‍ය භාෂා කොමිෂන් සභාවේ (OLC), රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවේ (DOL) සහ ජාතික භාෂා අධ්‍යාපන සහ පුහුණු ආයතනයේ (NILET) නිලධාරීන් ද විය.  එසේම, දිස්ත්‍රික් ලේකම් කාර්යාල වලින් සහභාගි වූ ජාතික ඒකාබද්ධතා ප්‍රවර්ධන නිලධාරීන් (NIPAs) ඔවුන්ගේ අමිල අත්දැකීම් බෙදා ගනිමින්, අගනා අදහස් ඉදිරිපත් කරමින් මෙම සාකච්ඡාවට නොමසුරු දායකත්වයක් ලබාදුණි.

ශ්‍රී ලංකාවේ රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය (OLP) ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීමෙහි ලා, සංක්ෂිප්ත භාෂා සැලසුම් නිර්මාණය අතිශය වැදගත් කරුණක් ලෙසට හඳුනාගෙන ඇත.  රාජ්‍ය ආයතන වෙත උපදේශන සහය ලබාදීමට පත්කර ඇති භාෂා සැලසුම්කරණය පිළිබඳ තාක්ෂණික කණ්ඩායමෙහි (TTLP) භූමිකාව මෙහිදී බෙහෙවින් වැදගත් වනු ඇත.  අමාත්‍යාංශය සමග එක්ව කටයුතු කරනු ලබන එක් එක් ප්‍රධාන හවුල්කාර ආයතන වෙතින් නිලධාරීන් එක් කරගැනීම හරහා තාක්ෂණික කණ්ඩායම පුළුල් කිරීමට එකඟව තිබුණේ, COVID වසංගතයේ පැමිණීමට පෙරාතුවය.  නමුත්, COVID වසංගතයෙන් මතු වූ අභියෝග සහ සීමාකිරීම් හමුවේ, භාෂා සැලසුම් ඵලදායී අන්දමින් දිවයින පුරා ක්‍රියාවට නැංවීම සහතික කිරීමෙහි ලා මෙම කණ්ඩායම පුළුල් කිරීම බරපතල කාර්යයක් පත්ව ඇත.  භාෂා සැලසුම්කරණයේ, ක්‍රියාවට නැංවීමේ සහ අධීක්ෂණයේ ආකෘතිමය සැකසීම් සිදුකිරීම උදෙසා දැනටමත් රාජ්‍ය ආයතන 30ක් තෝරාගෙන අවසානය.  එම ආයතන වෙත තාක්ෂණික සහය ලබාදීම එම සැකසීම් වල ආරම්භය ලෙස සැලකෙන අතර, සියලු රාජ්‍ය ආයතන විසින් දිවයින පුරා, භාෂා සැලසුම් ක්‍රියාවට නැංවීම එමගින් සහතික කෙරෙනු ඇත.

Spread the love