කාන්තා අයිතීන් උදෙසා භාෂා අයිතිවාසිකම්

භාෂා අයිතිවාසිකම්, කාන්තා අයිතීන් වෙත බලපාන අයුරු පිළිබඳ සංවාදයක්

භාෂා අයිතිය, සියලු කාන්තාවන්ගේ සහ පිරිමින්ගේ මූලික අයිතිවාසිකමක් ලෙසට ශ්‍රී ලංකාව පිළිගනු ලබන මුත්, ශ්‍රී ලංකාවේ කාන්තාවන් සහ පිරිමින් ඔවුන්ගේ භාෂා අයිතීන් සාක්ෂාත් කරගැනීමේදී ලබන අත්දැකීම් විවිධාකාර ද?   

ජාතික භාෂා සමානාත්මතා අභිවර්ධන ව්‍යාපෘතිය (NLEAP) විසින් ජාත්‍යන්තර කාන්තා දිනය සනිටුහන් කරමින් 2021 මාර්තු 18 වැනි දින “කාන්තා අයිතීන් උදෙසා භාෂා අයිතිවාසිකම්” යන මාතෘකාව යටතේ අන්තර්ජාලය ඔස්සේ සංවාදයක් පවත්වන ලදී.  ස්ත්‍රී-පුරුෂ සමාජභාව සමානාත්මතාව පිළිබඳ විශේෂඥ /NLEAP සාමා රාජකරුණා මෙනෙවිය විසින් මෙහෙය වූ මෙම සංවාදයේ දී ප්‍රධාන වශයෙන් අවධානය යොමු කළේ, කාන්තා අයිතීන් වෙත භාෂා අයිතිවාසිකම් බලපාන අයුරු පිළිබඳව ය.

සංවාද මඬුල්ලෙහි එම් තිරුනාවුකරසු මහතා (ජාතික භාෂා සමානාත්මතා අභිවර්ධන ව්‍යාපෘතියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ) සැසිය ආරම්භ කළේ, ශ්‍රී ලංකාවේ භාෂා අයිතීන් පිළිබඳ දළ විශ්ලේෂණයක් ගැඹුරින් ඉදිරිපත් කරමින් හා භාෂා අයිතිවාසිකම් යනු මොනවාද සහ ශ්‍රී ලංකාවේ භාෂා අයිතිවාසිකම් වෙත සහය දෙන ව්‍යාවස්ථාපිත ව්‍යුහය කුමක් ද යන්න පැහැදිලි කරමින් ය.  ඉන් අනතුරුව, ආචාර්ය රමණී ජයසුන්දර (අධ්‍යක්ෂිකා, යුක්තිය හා ස්ත්‍රී පුරුෂ සමාජභාව සමානාත්මතා වැඩසටහන්, ආසියා පදනම) සංවාදයට එක්වෙමින් පැහැදිලි කළේ, කාන්තා අයිතීන් සහ භාෂා අයිතිවාසිකම් අතර ඇති සබඳතාවයි.  මෙහිදී සාමා ඉතා කෙටියෙන් කියා සිටියේ, “භාෂා අයිතිවාසිකම් මොනවාද කියා මහජනතාවට අවබෝධයක් තිබෙනවා.  එසේම කාන්තා අයිතීන් මොනවාද කියාත් ඔවුන් දන්නවා.  නමුත් බොහෝවිට සිදුවන්නේ භාෂා අයිතිවාසිකම් සහ කාන්තා අයිතීන් අතර ඇති සබඳතාව වටහා ගැනීම ඔවුන්ට අපහසුවීමයි” යනුවෙනි.  මේ අවස්ථාවේ දී ආචාර්ය රමණී පැහැදිලි කළේ, කාන්තාවන් සහ පිරිමින් සිය භාෂා අයිතීන් සාක්ෂාත් කරගන්නා අන්දමෙහි ඇති වෙනස්කම් අනුව ප්‍රතිපත්ති සම්පාදනය, ප්‍රතිපත්ති සහ වැඩසටහන් ක්‍රියාවට නැංවීම සහ සේවාවන් ලබාදීම, සේවාවන් සහ ප්‍රතිලාභ ලැබීමේ හැකියාව වැනි කටයුතු වලට ඔවුන් සහභාගි වීමේදී අසමානතා සහිත වාතාවරණයන් නිර්මාණය කෙරෙන අයුරු ගැන ය.  මෙහිදී ඒ. සුබකරන් මහතා (විධායක අධ්‍යක්ෂ,  පාලන නවෝත්පාදන මධ්‍යස්ථානය) විසින් උදාහරණ දක්වමින් වැඩිදුරටත් පැහැදිලි කළේ, උපජාතික මට්ටමින් සේවා ලබාදීමේ දී කාන්තා අයිතීන් වෙත භාෂා අයිතිවාසිකම් කෙසේ බලපාන්නේ ද යන කාරණයයි.

අන්තර්ජාලය ඔස්සේ මෙහෙය වන ලද මෙම සංවාදය වැනි බොහෝ සංවාද අනාගතයේ දී ද පැවැත්වීමට NLEAP අදහස් කරයි.  ඒ අනුව, මෙම පළමු සංවාදයට සහභාගිවන්නන් 30 දෙනෙකුට අධික පිරිසක් එක්වූහ.  ආචාර්ය රමණී සහ සුබකරන් මහතා විසින් පිළිවෙළින් සිංහල සහ දමිළ භාෂා වලින් ඉදිරිපත් කළ සංවාද වල කෙටි දළ විශ්ලේෂණයන්ට අපගේ ජාතික භාෂාවන් හි ප්‍රවීණයන් වූ සහභාගිවන්නන් වෙතින් හිමි වුණේ ඉහළ ප්‍රතිචාරයන් ය.

Spread the love