භාෂා අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම සඳහා රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම

අනන්‍යතාවයේ ප්‍රධාන සලකුණක් වන භාෂාව, මානව සන්නිවේදනයහි මූලිකත්වය ගෙන ඇත.  සෑම ජාතියක්ම සහ සෑම රජයක් විසින් ම සියලුම පුරවැසියන්ගේ  භාෂා අයිතීන් තහවුරු කිරීම සඳහා කටයුතු කළ යුතුය.  ශ්‍රී ලංකාවේ, විවිධ ජනවාර්ගික  සමාජවල බලය හා සම්පත් සඳහා අරගලයේ දී භාෂා අයිතීන් සැලකිය යුතු කාර්යභාරයක් ඉටුකර ඇත.  1956 වර්ෂය දිවයිනේ රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේ තීරණාත්මක පරිච්ඡේදයක් සනිටුහන් කළ අතර එහි දී සිංහල භාෂාව පමණක් පනත මගින් දෙමළ භාෂාව නොසලකා හැරි අතර සිංහල භාෂාව එකම ජාතික හා රාජ්‍ය භාෂාව ලෙස සලකනු ලැබිණි.  මෙම තීරණය රටේ ආර්ථික හා සංස්කෘතික ප්‍රගතිය විනාශ කළ, දශක තුනක සිවිල් යුද්ධයට මූලික හේතුවක් විය.   ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ IVවන පරිච්ඡේදය භාෂා අයිතියට අදාල රටේ  නීතිය මූර්තිමත් කරයි.  1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි 13 වන හා 16 වන සංශෝධනවල ඉංග්‍රීසි භාෂාව සම්බන්ධීකරණ භාෂාව ලෙස ද   සිංහල හා දෙමළ භාෂාවන් රාජ්‍ය හා ජාතික භාෂා ලෙස ද පිළිගෙන ඇත.

කෙසේ වෙතත්, රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේ දී අසාර්ථකත්වයන් විසඳීම සඳහා ආයතනික හා දේශපාලනික මට්ටමින් බොහෝ වෙනස්කම් අවශ්‍ය බව විද්වතුන් ලෙස අප විශ්වාස කරන්නෙමු. රටේ උත්තරීතර නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සිංහල හා දෙමළ භාෂා දෙකටම සම පිළිගැනීමක් ලබා දී ඇතත්, ඒවා ක්‍රියාත්මක කිරීමේ දී නිරන්තරයෙන් බොහෝ ගැටළු පැනනැගී ඇත.  ශ්‍රී ලංකාව වැනි බහු භාෂාවන් භාවිත රටක, එක් භාෂාවක් (සාමාන්‍යයෙන් බහුතරයකගේ භාෂාව) සුළු ජාතින්ගේ  භාෂාවට/භාෂාවලට වඩා සහජයෙන් ම උසස්කොට සැලකීමේ ප්‍රවණතාවයක් පවතී. මෙවැනි සන්දර්භයක්  තුල, වාග් විද්‍යා සුළුතරයට ඔවුන්ගේ ම භාෂාව භාවිතා කරමින් සේවාවන් වෙත ප්‍රවේශ වීමට බලය ලබා දීමෙන් ඔවුන්ගේ අවශ්‍යතා සපුරාලීම වැදගත් වන බව විද්වත් ප්‍රජාවක් ලෙස අප විශ්වාස කරන්නෙමු. එවැන්නක් කිරීමට අපොහොසත් වීමෙන් මානව සමාජයේ වටිනාකම්වලට අහිතකර ලෙස බලපෑම් ඇති කරනු ඇත.  එබැවින්, රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, පළාත් පාලන ආයතන හා අනෙකුත් ආයතනවල සේවය කරන රාජ්‍ය අංශයේ නියෝජිතයන්ගේ සක්‍රිය සම්බන්ධවීම අත්‍යවශ්‍ය වේ.  මේවන විට ත්‍රෛ භාෂා ප්‍රතිපත්තිය විධිමත් ලෙස සම්මත කර ඇතත්, තවමත්, දිවයිනේ බොහොමයක් ප්‍රදේශවල සේවය ලබා දෙනු ලබන්නේ සිංහල භාෂාවෙන් පමණක් වන අතර උතුරු නැගෙනහිර ප්‍රදේශවල පැහැදිලිවම අත්‍යවශ්‍ය ලේඛණ දෙමළ භාෂාවෙන් පමණක් හැසිරවීම සිදු   කරන අතර රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය පිළිබඳව වගකිව යුතු බලධාරීන් සහ මහජනතාව යන දෙපාර්ශවයේ ම නොදැනුවත්කම හා නොසැලකිල්ල එමගින් වඩාත් පැහැදිලි වේ.

එවැනි අකාර්යක්ෂමතාවයන් මධ්‍යයේ, ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල තුනකට එනම් කැළණිය විශ්ව විද්‍යාලය, සබරගමුව විශ්ව විද්‍යාලය හා යාපනය විශ්ව විද්‍යාලයට පරිවර්තන අධ්‍යයනය පිළිබඳ ශාස්ත්‍රවේදී උපාධිය හඳුන්වා දෙනු ලැබූ අතර පසුගිය වසරේ දී නැගෙනහිර විශ්ව විද්‍යාලය ද එම අභියෝගයට උර දෙමින් උපාධි වැඩසටහන ආරම්භ කරනු ලැබීය.

මෙම උපාධි වැඩසටහන හඳුන්වා දෙනු ලැබුවේ විශ්ව වද්‍යාල ප්‍රතිපාදන කොමිසම හා කැනේඩියානු රජය අතර පැවති සාකච්ඡාවල ප්‍රතිඵලයක් වශයෙනි.   කැනේඩියානු රජය මගින් අරමුදල් සලසන ජාතික භාෂා ව්‍යාපෘතිය මගින් සාකච්ඡා සඳහා වේදිකාව සකසනු ලැබිණි.  සියලුම පුරවැසියන්ගේ භාෂා අවශ්‍යතා සපුරාලීමට තරම් දක්ෂ ත්‍රෛ භාෂා පරිවර්තකයින් හා භාෂණ නිපුණයින් බිහි කිරීම මගින් රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සඳහා සක්‍රිය ලෙස සම්බන්ධවීමට  උගත් තරුණයින්ට උපකාර කිරීම පරිවර්තන අධ්‍යයන ශාස්ත්‍රවේදී උපාධි වැඩසටහනේ ප්‍රධාන අරමුණු වලින් එකකි.

ජාතික භාෂා සමානාත්මතා අභිවර්ධන ව්‍යාපෘතිය යනු රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම ශක්තිමත් කිරීම සඳහා විශේෂයෙන් ම නිර්මාණය කර ඇති ව්‍යාපෘතියකි.  මෙම ව්‍යාපෘතිය මගින් සියලුම ශ්‍රී ලාංකිකයන්ගේ භාෂා අයිතීන් සුරක්ෂිත කිරීම හා ප්‍රවර්ධනය කිරීම සඳහා විශාල වශයෙන් දායක වී ඇත.  මෙම ව්‍යෘපෘතිය, රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම සාක්ෂාත් කිරීම සඳහා, රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව, රාජ්‍ය භාෂා කොමිසම, ජාතික භාෂා අධ්‍යයන හා පුහුණු කිරීමේ ආයතනය හා අනෙකුත් ආයතන සමග සහයෝගීතාවයෙන් ක්‍රියා කරයි.

තම රටේ පුරවැසියන්ට ඔවුන්ගේම භාෂාවෙන් සේවාවන් ලබා ගැනීම සහතික කිරීමේ ශ්‍රී ලංකා රජයේ හැකියාවන් ශක්තිමත් කිරීම පිණිස ජාතික භාෂා සමානාත්මතා අභිවර්ධන ව්‍යාපෘතිය මගින්  බොහෝ ක්‍රියාකාරකම් තව දුරටත් සංවිධානය කර ඇත.  විශ්ව විද්‍යාල හතර සම්බන්ධයෙන් ගත්කළ, 2014 වර්ෂයේ දී පරිවර්තනය පිළිබඳ ශාස්ත්‍රවේදී උපාධිය ආරම්භ කිරීම පිටුපස සිටි ප්‍රධාන මූලාශ්‍රය වූයේ  ජාතික භාෂා සමානාත්මතා අභිවර්ධන ව්‍යාපෘතිය (එවකට ජාතික භාෂා ව්‍යාපෘතිය) යි.  2021 වර්ෂයේ දී, ජාතික භාෂා සමානාත්මතා අභිවර්ධන ව්‍යාපෘතිය මගින්  කැනඩාවේ ඔටාවා විශ්ව විද්‍යාලයේ පරිවර්තන පාසලේ මහාචාර්ය මැල්කම් විලියම්ස් මහතා විසින් මෙහෙයවනු ලැබූ පරිවර්තන අධ්‍යාපනය පිළිබඳ පුහුණු වැඩසටහනක් සංවිධානය කරනු ලැබූ අතර එම බෙදාගත් දැනුමෙන් හා එම සැසිවලට සම්බන්ධවීමෙන් විශ්ව විද්‍යාල  හතරෙහි විද්වතුන් විශාල වශයෙන් ප්‍රතිලාභ ලැබූහ.   එපමණක් නොව,  ජාතික භාෂා සමානාත්මතා අභිවර්ධන ව්‍යාපෘතිය මගින් ආරම්භ කරන ලද වෘත්තීය ඉගෙනුම් ප්‍රජාව, පරිවර්තන අධ්‍යයනයේ ගෞරව උපාධි වැඩසටහන ප්‍රවර්ධනය කිරීම සඳහා බෙහෙවින් ඵලදායී වී ඇත.  ආශ්‍රිත විද්වතුන්ට, වෘත්තිකයන්ට, ශිෂ්‍යයන්ට හා ඒ පිළිබඳ කැමැත්තක් දක්වන අනෙකුත් පාර්ශවයන්ට ඔවුන්ගේ විශේෂඥ දැනුම හා රුචිකත්වයන් පර්යේෂණ හරහා ඉදිරිපත් කිරීම සඳහා වටිනා අවස්ථාවක් ලබා දීම පිණිස පරිවර්තන අධ්‍යයනය හා භාෂනය පිළිබඳව ජාත්‍යන්තර ජර්නලයක් ආරම්භ කිරීමට වෘත්තීය ඉගෙනුම් ප්‍රජාව විසින් තීරණය කර ඇත.   තව ද, පරිසරය සමග භාෂා අධ්‍යයනය සඳහා සිසුන් දිරිමත් කිරීම පිණිස සිසු හුවමාරු වැඩසටහන් ද වෘත්තීය ඉගෙනුම් ප්‍රජාව විසින් යෝජනා කර ඇත.  රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සඳහා ඵලදායී ලෙස දායකත්වය ලබා දීමට ජාතික භාෂා සමානාත්මතා අභිවර්ධන ව්‍යාපෘතිය මගින්  විද්වතුන්ට හා උපාධි අපේක්ෂකයින්ට සහාය ලබා දී ඇත.

රටක සාමාජයීය, ආර්ථික හා සදාචාරාත්මක සංහිඳියාව සඳහා භාෂාවේ බලපෑම පැහැදිලි වන අතර වැදගත් වේ.  ශ්‍රී ලංකාවේ, ජනතාවගේ විශේෂයෙන් ම සුළු ජාතීන්ගේ භාෂා අයිතීන් පිළිබඳ මහජන සංවේදීතාවයක් හා ගෞරවයක් නොමැත.  මේ අනුව, සියලුම රාජ්‍ය ආයතන, විශ්ව විද්‍යාල, සිවිල් සංවිධාන සහ අනෙකුත් සියලුම ආයතන රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීමෙන් ජනතාවගේ භාෂා අයිතීන් තහවුරු කිරීමට අදාල ක්‍රියාමාර්ග ගත යුතුය.   දරිද්‍රතාවය, ස්ත්‍රී පුරුෂ සමාජභාවීය අසමානතාවය, ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වය හා විවිධ විෂමතා වැනි තීරණාත්මක කරුණු කිහිපයක් සම්බන්ධයෙන් සංවේදී  වන අතරම ශ්‍රී ලාංකේය සමාජය තුල අතිශයින් අවශ්‍ය වන මෙම අරමුණ සාක්ෂාත් කර ගැනීම සඳහා ජාතික භාෂා සමානාත්මතා අභිවර්ධන ව්‍යාපෘතියේ දායකත්වය, ප්‍රශංසනීය හා ආදර්ශමත් ය.

 

 

මහාචාර්ය මනෝජ් ආරියරත්න

මදුකා හෂිනි

භාෂා දෙපාර්තමේන්තුව

ශ්‍රී ලංකා සබරගමුව විශ්ව විද්‍යාලය

බෙලිහුල්ඔය