
ජාතික භාෂා සමානාත්මතා අභිවර්ධන ව්‍යාපෘතිය (NLEAP) වාර්ෂික වැඩ සැලසුම් කිරීම සඳහා පාර්ශවකරුවන්ගේ වැඩමුළුව පවත්වයි.
ජාතික භාෂා සමානාත්මතා අභිවර්ධන ව්‍යාපෘතිය (NLEAP) විසින් සංවිධානය කරන ලද වාර්ෂික වැඩ සැලසුම් වැඩමුළුවක් භාෂා ක්ෂේත්‍රයේ රැකවල්කරුවන් හා භාරකරුවන් වන රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ජාතික භාෂා අංශය, රාජ්‍ය භාෂා කොමිෂන් සභාව (OLC), රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව (DOL) සහ ජාතික භාෂා අධ්‍යාපන හා පුහුණු ආයතනය (NILET) යන ආයතනවල සහභාගීත්වයෙන් පැවැත්වුණි . සැප්තැම්බර් 6 වන දින පවත්වන ලද මෙම සැසිය NLEAP හවුල්කාර ආයතන සඳහා මේ දක්වා ඔවුන්ගේ ජයග්‍රහණ සමාලෝචනය කිරීම සහ ඉදිරි ක්‍රියාකාරකම් සඳහා සැලසුම් කිරීම සඳහා සංසදයක් සැලසීය.
රජයේ ක්‍රියාකාරීන් හරහා ශ්‍රී ලංකා රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය (OLP) ක්‍රියාත්මක කිරීම ශක්තිමත් කිරීම සඳහා කැනඩා රජය විසින් අරමුදල් සපයන වසර 4.1/2 ක කැනේඩියානු ඩොලර් මිලියන 10.85 ක ව්‍යාපෘතියක් වන NLEAP, 2022 වසරේ දෙසැම්බර් මාසයේදී අවසන් වීමට නියමිතව තිබූවකි. කෙසේවුවද, 2018 වසරේ දේශපාලන අර්බුදය , 2019 වසරේ දී පාස්කු බෝම්බ ප්‍රහාරය, 2020-2021 කාලපරිච්ඡේදයේදී COVID 19 වසංගතයේ බලපෑම් මෙන්ම 2022 වසරේදී ශ්‍රී ලංකාවේ පෙර නොවූ විරූ දේශපාලන හා ආර්ථික අර්බුදය ද හේතුවෙන්, NLEAP ඉලක්කගත කරන ලද ප්‍රධාන අරමුණු කිහිපයක් සාක්ෂාත් කර ගැනීමට බාධා විය. 2023 ජූලි දක්වා, වියදම් රහිතව, ව්‍යාපෘතිය දීර්ඝ කිරීම මගින් මෙම අරමුණු සාක්ෂාත් කර ගැනීමට අපේක්ෂා කෙරේ.
හවුල්කාර ආයතන උණුසුම් ලෙස පිළිගත් එම් තිරුනාවුකරසු මහතා (ව්‍යාපෘති නියෝජ්‍ය අධ්‍යක්ෂ – NLEAP) බොහෝ දුෂ්කරතා මධ්‍යයේ වුවද රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය (OLP) ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම ප්‍රවර්ධනය කිරීමට ඔවුන් දක්වන කැපවීම අගය කරන ලදී. සැසියේ අරමුණු ගෙනහැර දක්වමින් වීනා වර්මා මහත්මිය (කැනඩාව පදනම් කරගත් ව්‍යාපෘති අධ්‍යක්ෂ සහ මානව හිමිකම්, ස්ත්‍රී පුරුෂ සමාජභාවය සහ පාලන කටයුතු පිළිබඳ උපදේශක/ NLEAP) විසින් 2022-2023 කාලපරිච්ඡේදය සඳහා යෝජිත වියදම් රහිත ව්‍යාපෘති දිගුව සහ සංශෝධිත ප්‍රගති සලකුණු පිළිබඳ කඩිනම් දළ විශ්ලේෂණයක් සිදුකරන ලදි. ආර්.විජයලක්ෂ්මී මහත්මිය (අතිරේක ලේකම්, අමාත්‍යාංශයේ ජාතික භාෂා අංශය) සඳහන් කළ පරිදි, ව්‍යාපෘතිය එහි අවසන් අදියරට පිවිසීමත් සමඟ, වැඩමුළුව තීරණාත්මක සන්ධිස්ථානයක් සනිටුහන් කර ඇත. NLEAP කණ්ඩායම විසින් 2022 වසරේ තෙවන කාර්තුව දක්වා වන ක්‍රියාකාරකම්වල සමස්ත ප්‍රගතිය සහ සිව්වන කාර්තුව සඳහා සැලසුම් කළ ක්‍රියාකාරකම් ගෙනහැර දක්වන ඉදිරිපත් කිරීම් හරහා 2023 වර්ෂයේ ජූලි මස දක්වා ඔවුන්ගේ අදාළ වැඩ සැලසුම් පිළිබඳ කණ්ඩායම් සාකච්ඡා සඳහා පසුබිම නිර්මාණය විය. ආයතනගත කණ්ඩායම් විසින් ඔවුන්ගේ වාර්ෂික වැඩ සැලසුම් ඉදිරිපත් කිරීම වැඩිදුර සංවාද සහ සහයෝගීතාව දිරිමත් කිරීමට හේතු විය. භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාවට නැංවීමේදී සාකල්‍ය ප්‍රවේශයක් සහතික කිරීම සඳහා මෙම වාර්ෂික වැඩ සැලසුම් වැඩමුළුව වැනි සංසද ඉතා වැදගත් වේ. ඔහුගේ අවසාන ප්‍රකාශයේදී M.M.P.K මායාදුන්නේ මහතා (ලේකම්, අමාත්‍යාංශය) කැනඩා රජයට ස්තූතිය පුද කළේ, එහි සියලුම පුරවැසියන්ගේ භාෂා අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට සහ ප්‍රවර්ධනය කිරීමට, සහ OLP ක්‍රියාත්මක කිරීමට සහය දැක්වීමට සහ ශක්තිමත් කිරීමට, ශ්‍රී ලංකා රජයට ලබාදෙන අඛණ්ඩ සහයෝගය පිළිබඳවය.