රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සඳහා වන මධ්‍ය කාලීන උපායමාර්ගය තුළ ස්ත්‍රී පුරුෂ මානයක් පවත්වාගෙන යාමේ වැදගත්කම

රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සඳහා වන මධ්‍ය කාලීන උපායමාර්ගය තුළ ස්ත්‍රී පුරුෂ මානයක් පවත්වාගෙන යාමේ වැදගත්කම

ජාතික භාෂා සමානාත්මතා අභිවර්ධන ව්‍යාපෘතිය (NLEAP) විසින්, තම හවුල්කාර ආයතනවල සහයෝගීත්වයද සමඟින් රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේ උපාය මාර්ග රාමුව තුළ ස්ත්‍රී පුරුෂ සමාජභාව සමානාත්මතාව හා කාන්තාවන් සවිබල ගැන්වීම සහ තම සංවිධානයේ මධ්‍ය කාලීන සැලසුම් පිළිබඳව දැනුවත් කිරීම සඳහා සිය කණ්ඩායම් සාමාජිකයින් සඳහා සැසි සංවිධානය කරන ලදි.

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් සිංහල සහ දෙමළ රාජ්‍ය භාෂා සහ ජාතික භාෂා ලෙස ප්‍රකාශයට පත් කර ඇති  අතර භාෂාව සියලු පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකමක් ලෙස අර්ථ දක්වා ඇත. මෙමගින් කාන්තාවන්ට සහ පිරිමින්ට නීතිය ඉදිරියේ සමානාත්මතාවයේ අයිතිය සහ නීතියේ සමාන ආරක්ෂාව සහතික කෙරේ. කෙසේ වෙතත්, ජනවාර්ගිකත්වය සහ සමාජීය, සංස්කෘතික හා ආර්ථික තත්ත්වය වැනි විවිධ සාධක මගින් බලපෑමට ලක්ව ඇති  ශ්‍රී ලංකාවේ ස්ත්‍රීන් සහ පුරුෂයින් ඔවුන්ගේ භාෂා අයිතිවාසිකම් ඉටු කර ගැනීමේදී විවිධ අත්දැකීම් ලබන අතර විශේෂයෙන්ම ස්ත්‍රීහු පිරිමින්ට සාපේක්ෂව තවදුරටත් කොන් කිරීම් සහ බැහැර කිරීම අත්විඳිති.

ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්වයම තම භාෂා අයිතීන් ස්ත්‍රී පුරුෂ සමාජභාවය කෙරෙහි සංවේදී වන අයුරින්  භුක්ති විඳීම සහතික කිරීම අත්‍යවශ්‍ය කරුණක් ලෙස  භාෂා අංශයේ ප්‍රධාන පාර්ශ්වකරුවන් සහ ප්‍රතිපත්ති සම්පාදකයින් වන රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ජාතික භාෂා අංශය, රාජ්‍ය භාෂා කොමිෂන් සභාව, රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව සහ ජාතික භාෂා අධ්‍යාපන හා පුහුණු ආයතනය යන ආයතන විසින් සලකනු ලැබේ. රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම පිණිස වන උපායමාර්ගික රාමුවේ (SFI OLP) එක් ප්‍රධාන අරමුණක් වන්නේ ස්ත්‍රී පුරුෂ සමාජභාවය කෙරෙහි සංවේදී අයුරින් රාජ්‍ය ආයතනවල ද්විභාෂික සේවා සැපයීමේ ධාරිතාව ඉහළ නැංවීමයි.

භාෂා අංශය සඳහා වන සමස්ත උපාය මාර්ගයේ ස්ත්‍රී පුරුෂ සමාජභාව සමානාත්මතාව සහ කාන්තාවන් සවිබල ගැන්වීම් ( GEWE ) සංරචක සිය ආයතනයට බලපෑවේ කෙසේද යන්න අවබෝධ කිරීම පිණිස කණ්ඩායම් සාමාජිකයින්ට උපකාර කිරීම අමාත්‍යාංශයේ ප්‍රකාශිත අභිමතයන් අතරින් එකකි. භාෂා ප්‍රතිපත්තිය සාර්ථකව ක්‍රියාත්මක කිරීම සඳහා ස්ත්‍රී පුරුෂ මානයක් පවත්වා ගැනීම ඉතා වැදගත් වන්නේ මන්දැයි සිය කණ්ඩායම්වලට පැහැදිලි කරමින් NLEAP හවුල්කාර ආයතනවල නායකත්වය විසින්  සැසියට  පූර්ණ  ලෙස සහභාගීවීම  සහ සම්බන්ධවීම දිරිමත් කරන ලදි.

සාමා රාජකරුණා මහත්මිය (දේශීය ස්ත්‍රී පුරුෂ සමාජභාවී සමානාත්මතා විශේෂඥ – NLEAP) ප්‍රථමයෙන් රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම පිණිස වන උපායමාර්ගික රාමුවේ GEWE සංරචක හරහා කණ්ඩායම් සාමාජිකයින් දැනුවත් කළ අතර පසුව මෙම සංරචක ඔවුන්ගේ සංවිධානයේ මධ්‍ය කාලීන සැලැස්මට පරිවර්තනය වූ ආකාරය පිළිබඳව අවධානය යොමු කළාය. ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ කේන්ද්‍රීය නිලධාරීන් GEWE හි ප්‍රධාන ප්‍රවාහය සහතික කිරීම සඳහා තමන් වෙත පැවරී ඇති කාර්යභාරය  සම්බන්ධයෙන් තම සගයන් සමඟ අදහස් බෙදා ගත්හ.

Spread the love