Alinea- NLEAP දිවයින පුරා පෝෂණ අවදානමට ලක්විය හැකි පවුල් සඳහා සහායක් වශයෙන් ආහාර සහන ලබාදීමේ වැඩපිලිවෙළක් දියත් කරයි.

ආහාර අර්බුදයෙන් බලපෑමට ලක් වූ පවුල් සඳහා ආහාර සුරක්ෂිතතාව සැලසීමට ජාතික භාෂා සමානාත්මතා අභිවර්ධන ව්‍යාපෘතිය  (NLEAP)

ජාතික භාෂා අරමුදලේ (NLF) හවුල්කරුවන් සමඟ එක්ව කටයුතු කරයි.

වඩාත්ම අවධානමට ලක්ව ඇති ජනතාව වෙත පෝෂදායී ආහාරවල සුලබතාවය සහ ආහාර සඳහා වන ප්‍රවේශයේ අඛණ්ඩභාවය සෑමවිටකම සහතික කරනු පිණිස අප ගන්නා ප්‍රයත්නයන් සම්බන්ධයෙන් කැනඩාවේ අපි ශක්තිමත් සහ ස්ථාවර ආකාරයකින් කටයුතු කරන්නෙමු”

කැනඩා අගමැති  ජස්ටින් ටෘෘඩෝ

2022 දී ඇති වූ ආර්ථික අර්බුදයේ ප්‍රතිවිපාක ශ්‍රී ලංකාව පුරා බොහෝ කුටුම්භයන්හි යහපැවැත්මට අඛණ්ඩව බලපායි. ජීවනෝපායන් අහිමි වීමත්, ආහාර මිල ඉහළ යාමත්  හේතුවෙන් රටේ ජනගහනයෙන් බහුතරයක් තම දෛනික ආහාර අවශ්‍යතා සපුරා ගැනීමට අරගල කරමින් සිටිති. සේව් ද චිල්ඩ්‍රන් (Save the Children) සංවිධානය විසින් මෑතකදී ඉදිරිපත් කරන ලද වාර්තාවකින් හෙළි වූයේ ශ්‍රී ලංකාවේ කුටුම්භවලින් අඩකට ආසන්න ප්‍රමාණයක් තම දරුවන්ගේ දෛනික ආහාර ප්‍රමාණය අඩු කිරීමට යොමු වී ඇති බවයි. බොහෝ දෙමාපියන් තම දරුවන් පෝෂණය කිරීම සඳහා ප්‍රමාණවත් ආහාර නොලැබීම නිසා ආහාර ගැනීම අත්හැර දමා ඇත.

Alinea-NLEAP ආහාර සහන වැඩපිළිවෙළ සැලසුම් කර ඇත්තේ මෙම ආහාර අර්බුදයෙන් දැඩි ලෙස පීඩාවට පත් වූ පවුල් සඳහා සහන සැලසීමටය. ශ්‍රී ලංකාවේ රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීමට සහාය වීම සඳහා කැනඩා රජය ජාතික භාෂා සමානාත්මතා අභිවර්ධන ව්‍යාපෘතිය (NLEAP) හරහා, ශ්‍රී ලංකා රජය සමඟ සමීපව කටයුතු කරයි. එහෙත්,  ශ්‍රී ලංකාවේ කුටුම්භවලින් සියයට 33කට ආසන්න ප්‍රමාණයකට බලපෑම් සිදුකර ඇති මෙම දරුණු අර්බුදය හමුවේ,[1] ආහාර සුරක්ෂිතතාව සඳහා මතුව ඇති ක්ෂණික හා හදිසි අවශ්‍යතාවයට පිළියම් යෙදීමෙන් කැනඩා රජය ශ්‍රී ලංකාවේ ජනතාවට තම සහයෝගය වැඩි වශයෙන් ලබාදෙනු ඇත.

2020 වසරේ සිට, කැනඩාව ලොව පුරා ස්ත්‍රී පුරුෂ සමාජභාවයට ප්‍රතිචාර දක්වන මානුෂීය ආධාර සඳහා ඩොලර් බිලියන 3 කට වැඩි ප්‍රමාණයක් වෙන් කර ඇත. ඇලීනා ඉන්ටනැෂනල් (Alinea International) විසින් ක්‍රියාත්මක කරන ලද Alinea-NLEAP ආහාර සහන වැඩපිළිවෙළ , ගෝලීය ආහාර සහ පෝෂණ අවශ්‍යතා සඳහා කැනඩා රජයේ අඛණ්ඩ කැපවීමේ එක් කොටසක් ලෙස දැක්විය හැකිය.

Alinea-NLEAP ආහාර සහන වැඩපිළිවෙළ උග්‍ර කුසගින්න සහ මන්දපෝෂණයට මුහුණ දෙන දරුවන්ට සහ තම දරුවන් පෝෂණය කිරීමට ප්‍රමාණවත් තරම් ආහාර නොමැති නිසා කුසගින්නෙන් පෙළෙන දෙමාපියන්ට සහාය වනු ඇත. ආහාර අනාරක්ෂිත භාවයෙන් පීඩාවට පත් දිවයින පුරා සිටින ගෘහ ඒකක සඳහා වියළි ආහාර සලාක මලු සැපයීම සඳහා NLEAP විසින් එහි සංස්ථාපිත  ජාතික භාෂා අරමුදලේ (NLF) තෝරාගත් හවුල්කරුවන් පිරිසක් සමඟ කටයුතු කරනු ඇත. NLF හවුල්කරුවන්, වඩාත් අවදානමට ලක්විය හැකි ප්‍රතිලාභීන් තෝරා ගැනීම සඳහා පළාත් පාලන ආයතන සමඟ සමීපව කටයුතු කරනු ඇත.

[1] ලෝක ආහාර වැඩසටහනෙහි (WFP)  නවතම ආහාර සුරක්ෂිතතා සමීක්ෂණයට අනුව 2022 දෙසැම්බර් මාසයේදී කුටුම්භවලින් සියයට 33කට ආසන්න ප්‍රමාණයක් උග්‍ර ආහාර අනාරක්‍ෂිතතාවයකට මුහුණ දී ඇත.

 

Spread the love